|
ඒදඩුවාවේ කාන්තා දිසාව
------------------------------
පිරිමින් සත්දෙනෙකුගේ බල දැරූ සිංහලේ මහා රණකාමිනිය
----නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි----
සියලුම සිංහල බෞද්ධ කුල කුමරියන් විසින් දැනගත යුත්තේ ය.
සතර කෝරලේ දිසාවනියට අයත් කිණිගොඩ කෝරළයේ, මැද පත්තුවේ පිහිටි ඒදඬුවාව වූ කලි, මහනුවර යුගයේ ආරම්භයටත් පෙර අතීතයක් සහිත ගම්මානයකි. මෙම ගමට යාබදව අලුත්නුවර, අට්ටාපිටිය, ගණේතැන්න, දෙවනගල, ගල්ලෑල්ල යනාදී ඓතිහාසික ග්‍රාමයන් කිහිපයක් ම පිහිටා තිබේ.
ඒදඬුවාව ගම්මානය වූ කලි පණික්කිවරුන් (රජවාසල නර්තන ශිල්පීන්) වාසය කළ ගමක් වශයෙන් ද සැලකේ. එමෙන්ම සතර කෝරළයේ පැවති ප්‍රධාන වලව් තිහෙන් එකක් වූ ඒදඬුවාවේ වලව්ව පිහිටා තිබුණේ ද මෙම ගමේ ය. එය දැනුදු භාවිතයේ පවතින වලව්වකි. අප්‍රසිද්ධ ජීවිතයක් ගතකළ, එමෙන්ම මහනුවර සෙනරත් මහරජ්ජුරුවන්ගේ ප්‍රධාන නැකැත් රාළ වූ ඒදඬුවාවේ පණ්ඩිත වාහල බ්‍රාහ්මණ මුදියන්සේ විසින්මෙම වලව්ව ගොඩනංවන ලදී. එම ගම ඔහුට නින්දගමක් වශයෙන් හිමිවිය. පසුව ඔහු රජුගේ පුරෝහිතකමට ද පත්විය.
එමෙන්ම මෙම වලව්ව හා සම්බන්ධ තවත් එක් අතිශය වැදගත් කරුණක් තිබේ.
මහනුවර යුගයේ පැවති සතුරු ආක්‍රමණ නිසා රජුන්ගේ අනුදැනුම මත අංගම් ශාස්ත්‍ර පවත්වාගැනීමට පරම්පරා දෙකක් රාජකාරි ලැබ සිටියහ. එක් පිරිසක් සබරගමුවේ විසූ ‘සුදලිය‘ පරම්පරාව යි. දෙවැන්න සතර කෝරළයේ ඒදඬුවාවේ ‘මරුවල්ලිය‘ පරම්පරාව යි. මෙසේ පරම්පරා දෙකක් පවත්වාගැනීමේ අවශ්‍යතාව වූයේ පරම්පරා අතර ඇතිවන තරගය හරහා ඉතා දක්ෂ අංගම් සටන්කරුවන් පිරිසක් නිර්මාණය කරගැනීම ය. මේ සදහා රජුගේ උපදෙස් මත බොහෝ විට ඌරාළිදේ අංගම් කෙටීමට ද මේ පරාම්පරාවල සටන්කරුවෝ පෙරමුණ ගත්හ. මේ පරම්පරා දෙක අතරින් බොහෝ කලක් බලවත් ව සිටියේ මරුවල්ලියේ පරම්පරාව ය. තවමත් මෙම පරම්පරාව සබරගමුව දිසාවනියේ ජීවත් වෙයි.
ඒදඬුවාවේ පණ්ඩිත බ්‍රාහ්මණ වාහල මුදියන්සේගෙන් පසුව එම නින්දගම හිමිවූයේ ඔහුගේ පුත්‍රයාට ය. ඔහු අංගම් කෙළියේ නිපුණයෙකු වූ අතර, ජනප්රවාදානුගතව මරුවල්ලියේ පණික්කිරාළ, සුදලියේ පනික්කිරාළ අතින් මහනුවර දී කෙරුණු ඌරාළිදේ හරඹයක දී මියගොස් ඇත. මේ අතර, එම ලෙයෙහි පලිය ගැනීම පිණිස ඔහුගේ බාල සහෝදරයා වූ ගණේතැන්න මුදියන්සේ සටන් ශාස්ත්‍ර හදාරා තිබේ. නමුත් සුදලියේ පනික්කිරාලගෙන් පළිගැනීම පිණිස, ඔහු වෙතින් මියගිය මරුවල්ලියේ පණික්කිරාලගේ එක ම දියණිය වූ ස්වර්ණපාලි තෝරාගැනීමට ගණේතැන්නට සිදුවන්නේ, අඩුකුල විවාහයක් නිසා ඌරාළිදේ අංගම් හරඹයට සහභාගි වීමට නොහැකි වූ හෙයිනි. මේ අනුව ගණේතැන්න එම දියණිය රැගෙන කේරළයට යයි. ඇතැම් මූලාශ්රයන්ට අනුව මහනුවර සෙනරත් මහරජුගේ සේනාපතිවරයෙකි වූ ගලගොඩ මුදියන්සේ විසින් ද ඇයට සටන් පුහුණු කර තිබේ.
ස්වර්ණපාලි කුමරිය, කේරළයේ දී කලරි හා රාක්ෂස අංගම් මනාව ප්‍රගුණකොට යළි ලක්දිවට පැමිණ, පුරුෂයෙකු සේ වෙස් ගෙන, සුදලියේ පනික්කිරාළට අභියෝග කර සිටියාය. ඒ අනුව සෙනරත් මහරජ්ජුරුවන් ඉදිරිපිට දී ඌරාළිදේ අංගම් කෙටීමෙන්, සුදලියේ පනික්කිරාළ ඝාතනය කොට සිය පියා වෙනුවෙන් පළිගැනීමට ඇයට හැකිවිය. නමුත් එම අවස්ථාවේ දී වෛරය දුරුකරගත්තා ය. පසුව ඇය කාන්තාවක් බව රජුට හෙළි කළ අතර, විස්මයට පත් වූ රජු ඇගේ කතාපුවත් විමසා, සතර කෝරළයේ දිසාව ඇයට පවරා නින්දගම් ද දුන්නේ ය. ඇගේ ස්වාමියා ද ඒදඬුවාවේ බ්‍රාහ්මණ මුදියන්සේ ලෙස හැදින්වෙයි. ඇගේ එක ම දරුවා වූ ඒදඬුවාවේ පණික්කි දිසාව ද පසුකාලීන ව මහා රණශූරයෙකු ලෙස දෙවැනි රාජසිංහ රජු යටතේ සේවය කළේය.
කෙසේ වෙතත්, ස්වර්ණපාලි නොහොත් ඒදඬුවාවේ කාන්තා දිසාව තවත් වරක දී රට වෙනුවෙන් යුදයට පිළිපන්නා ය. ඒ විශාල පෘතුගීසි සේනාවක් කැටුව සීමන් කුරේ නොහොත් දොන් ජෙරනිමෝ ද අසවේදු මහනුවර ආක්‍රමණය කළ අවස්ථාවේ දී ඇති වූ දන්තුරේ සටනේ දී ය. එහිදී පිරිමි වෙස් ගෙන සේනාංකාධිපතිවරයෙකු වශයෙන් දන්තුරේ වෙලේ දී සතුරන් බොහෝ ගණනක් මරා දමමින් ඇය කළ වික්‍රමාන්විත මෙහෙවර වෙනුවෙන් රජු විසින් ඇයට ගම්වර ලබාදෙන ලද්දේ ය. සෙනරත් රජුගේ ආරක්ෂාව සදහා දියතිලක නුවර සකස් කරන ලද්දේ ද, ආරක්ෂාව පිණිස රජු එහි වාසය කරද්දී පූර්ණ ආරක්ෂාව සැලසූයේ ද ඒදඬුවාවේ කාන්තා දිසාව විසිනි. ඇය සතුව අංගම් ශාස්ත්රයේ කෙළ පැමිණි වීරෝධාර රණශූරයන් රැසක් ම සිටි බවත්, ඇගේ පුත්‍රයා ද ඇය සමග යුදබිමට ගිය බවත් ජනශ්රැතියේ කියවෙයි.
ඇය පිළිබදව එක්තරා ජනකවියෙකු මෙසේ කියා තිබේ.
‘‘ඒදඬුවාවේ දිසා මැතින්දා - අඟනක් වුවත් රුවැති නිරින්දා
කඳුරට හෙල්ලූ රුපු බල බින්දා - වැජඹේ රැජිනක් විලස මැතින්දා‘‘
එවන් රණශූරියන් බිහිකළ ලොව එකම ජාතිය සිංහල ජාතියයි. ඔවුහු ඒ දක්වා මෙහෙයවනු ලැබුවේ, බෞද්ධ සාරධර්ම පද්ධතිය යි.
අද ද එවන් කුල කතුන් ජීවත් වනවා නිසැක ය. බටහිර පුහු උද්දච්චකමෙන් ඒ වීරවරිය වැසී ගොස් සිටින්නේ නම්, කරුණාකර ඇය අවදි කරවන්න. සහෝදරියනි, මේ අපට ඔබ අවැසි වෙලාවයි.
Categories: None
The words you entered did not match the given text. Please try again.
Oops!
Oops, you forgot something.